මනෝ නිර්මාණකරන භාවනාව.
සමථ භාවනාවන් ප්‍රගුණ කිරීම යමෙකුට සිතූ පමණින් කල හැකි කටයුත්තක් නොවේ ඒ සඳහා වඩා සංයමයක් හා මානසික හුරු පුරුදු බවක් පැවතිය යුතුය. භාවනාව සඳහා මනස හුරු පුරුදු කිරීම සඳහා මෙම මනෝ නිර්මාණ කරණ භාවනාවන් ඉතා වැදගත් වනු ඇත.
මනෝ නිර්මාණ කරණය යනු මනසින් යමක් නිර්මාණය කිරීමට උත්සහ කිරිමයි. එකී නිර්මාණය තුල සිත එකඟ කිරීමේ දී සතිය හා සමාධිය වර්ධණය වන බැවින් මනෝ නිර්මාණ කරණය භාවනාවකි.
මහායානයේ මණිපද්ම භාවනාව යනුවෙන් හදුන්වන මනෝ නිර්මාණ කරන භාවනා ක්‍රමයක් ඇත. මෙහිදී කරුණු ඉදිරිපත් කරණු ලබන්නේ එම ශුද්ධ මණිපද්ම භාවනාව ගුරුකරගෙන නොවේ. මහායානයේ මණිපද්ම භාවනාව බෝධිසත්ව මනෝ නිර්මාණකරනණය හා බැදී ඇත. නමුත් මෙහිදී ඒ මනෝ නිර්මාණ කරන භාවනාව දක්වනුයේ මහායාන ආභාශයක් සහිතව අංගුත්තරනිකාය, අපදාන පාළි, බුද්ධාපදානය මුල්කරගෙනය. සොයා බැලීමි වලින් තොරව විවිධ පුද්ගලයන් විවේචනයන් ඉදිරිපත්කරනා බැවින් හා මෙහි මහායානය උලුප්පා ඇතැයි යමෙකුට කුකුසක් ඇතිවිය හැකි බැවින් මේ පිළිබඳව සඳහන් කලෙමි.
මනෝ නිර්මාණය පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන්ව තිබේද?
ඒ සඳහා හොඳම පැහැදිලි කිරීමක් අංගුත්තරනිකාය, අපදාන පාළි, බුද්ධාපදානයෙන් සොයාගත හැක. එහි සඳහන්ව ඇත්තේ අපගේ ගෞතම බුදු රජාණන්වහන්සේ බුද්ධත්වය මනසින්ම පතනා අවධියේ උන්වහන්සේට බුදුබව ලබාදීමට හේතුවූ මූලික හා මුල්ම සිතුවිල්ලයි. මහායානය බුදු බව පරම කොට ඇති බෞද්ධ විභේධනයක් බැවින්, මණිපද්ම භාවනාව මෙම හීනයාන සූත්‍රයේ වර්ධනයක් විය හැකිය. භාවනා ක්‍රමය විස්තර කර දීමට ප්‍රථම ත්‍රිපිටක සූත්‍රය අධ්‍යනය කර සිටිමු.
සිතින්ම කල පුජාවේ අරුමය
සමතිස් පෙරුම්පිරූ අසංඛ්‍ය ගණන් බුදුවරයෝ වෙති෴"ඒ ශ්‍රේෂ්ඨ බුදුවරයන් වහන්සේලාගේ සර්වඥතා ඥානයටද, ශ්‍රාවක සඞ්ඝයා සහිත බුදුවරයන් වහන්සේලාටද, දොහොත් එක්කොට නැවතත් හිස නමා වැඳීම කෙළෙමි෴"ඇතිතාක් බුද්ධ ක්‍ෂෙත්‍රයන්හි අහසෙහිවූ ද, පොළොවෙහිවූ ද, අනන්තවූ රත්නයන් සිතින් ඉටා මාගේ ප්‍රාසාදය හාත්පස රුස් කෙළෙමි෴
"එහි රිදියෙන් කරණ ලද්දාවූ ද, සත් රුවනින් කරණ ලද්දාවූ ද, නොයෙක් මහල් (තට්ටු) ඇති අහසට උසට නැගී බබලන ප්‍රාසාදයක් සිතින් මැවීමි(මනෝ නිර්මාණය කලෙමි) ෴"එම ප්‍රාසාදය දිගුපුළුලට සරිලන සේ මැනවින් කළ බෙදිම්ඇති, වටිනා තොරණ්වලින් හා (සුදු) කුඩවලින් බබළන රුවනින් මුවා දැව වළලු ඇති විසිතුරු කණුවලින් යුක්තවිය෴"එහි පළමුවෙනි මාලය (තට්ටුව) පිරිසිඳු වළාකුලක් සේ මනොඥ වෙරළු මිණියෙන් කරණ ලද පොළොව ඇත්තේ විය෴ ජලයෙහි හටගන්නා පියුම්වලින් ගැවසීගත් උතුම්ස්වර්ණමය භූමීන්ගෙන්ද යුක්ත විය෴"ඇතැම්භූමීහු මනහර ලෙස පබළුයෙන් කළ පැති ඇති පබළුවන් වූවාහුද, අනිකක් රත් පැහැ ඇත්තාහුද, තවකෙක් රතිදු ගොව්වන්ගේ පැහැයට බඳු පැහැයෙන් යුක්තය, දසදිගුන් බබුළුවති෴"මැනවින් ගෘහද්වාරද, පිටතට නෙරාගිය ප්‍රමුඛ ශාලාවන් (ගෙවල් ඉදිරියේ බැඳි ශාලා) ද සීමැදුරුද, මනහර මුතුලැල්වලින් හා සුවඳ දමින් ගැවසීගත් වේදිකා සතරක්ද එහි විය෴
"එම ප්‍රාසාදය සත් රුවනින් ශෝභාවත් කළ නිල්, කහ, රතු, සුදු හා අමිශ්‍ර කාල වර්ණයද ඇති උතුම්කුළු ගෙවලින්ද සමන්විත විය෴"උඩුකුරුව පිපුණු අයුරින් කළ පියුමින්ද, විශාල මෘගයන්ගේ හා පක්‍ෂීන්ගේ රූ සටහන්වලින්ද බබළන (ඉතා උස් බැවින් පිළිබිඹුවූ) නැකැත් තරුවලින් ගවසීගත් චන්‍ද්‍ර සූර්‍යයන්ගෙන්ද අලංකාර විය෴"රන් කිකිණියෙන් යුත්, රුවන් දැලින් ගැවසුනු මනහර රන් මල් දම්හු වායු වේගයෙන් ශබ්ද පවත්වති෴"මදටිය රතු, කහ, දඹරන් යන නන් වැදෑරුම්සායමින් පොවන ලද ඔසවන ලද්දාවූ ධජ මාලාවෝ වෙති෴"එහි රිදියෙන් කළ පුවරුද, (නිල්) මිණියෙන්, දෑරඟ මිණියෙන් හා කබරවන් මිණි ආදියෙන් කළ පුවරු ඇති, සියුම්කසී සළු අතුල, නා නා සයනයන්ගෙන් විසිතුරු විය෴
"කම්බිලිද, දුහුල් පටද, චීන පටද, පත්තුණ්ණ දේශයෙහි කළ පටද, පඩුවන් පටද යන මෙයින් කළ ප්‍රාවරණයන්ගෙන් විවිධ ඇතිරි ඇති සියලු අසුන් මම සිතින් (ඉටා) පැනවීමි෴"ඒ ඒ භූමීන්හි රත්නමය කර්ණිකාවන්ගෙන් ශෝභාවත් රන්මිණියෙන් කළ දඩුවැට පහන් දරණ නොයෙක් සිය ගණන් ජනයෝ සිටිති෴ " එහි නුවර දොර හොබවනු වස් සිටවූ යකඩ කණු ද, ස්වර්ණමයවූ ජාම්බෝජනද, ස්වර්ණමයවූ (කිහිරි) ඛදිරදාරුමවූ (රිදී) රජතමයවූ තොරන්හුද බබළති෴
"(එම) පහය මැනවින් බෙදන ලද බොහෝ ජනෙල් හා අගුළුවලින් විසිතුරු විය෴ නොයෙක් පියුම්උපුල්වලින් යුත් පෙදෙස තැබූ පුර්ණ ඝටයෝද එහි වෙති෴"අතීතයෙහිවූ ශ්‍රාවක සංඝයා සහිත ලෝකනායක සම්‍යක් සම්බුදුවරයන් ද, එසේම ශ්‍රාවක සමූහය සහිත පසේ බුදුවරයන් ද පියවි සටහනින් මවා, "ශ්‍රාවකයන් සහිත එම බුදුවරු එකී දොරටුවෙන් (ප්‍රාසාදයට) ඇතුළුව ආර්‍ය සමූහව ස්වර්ණමය පීඨයෙහි වැඩහුන්හ෴"මෙකල ලෝකයෙහි අනුත්තරවූ යම්බුදු කෙනෙක් වෙත්ද, එසේම අතීතයෙහි වූවාහුද, ඒ සියලු බුදුවරයෝම මේප්‍රාසාදයට වැඩමවූහ෴
"තමන් විසින්ම, ගුරූපදේශ විරහිතව ධර්මය අවබෝධ කරගත්, පස් මරුන් දිනූ, අතීතයෙහි හා වර්තමානයෙහි වූ නොයෙක් සිය ගණන් පසේ බුදුවරු ද, මේපහයට වැඩම කළහ෴"දිව්‍යමයවූද, මනුශ්‍යමයවූද, කප්රුක් බොහෝ වෙති෴ ඒවායින් සියලු වස්ත්‍ර ගෙනවුත් තුන් සිවුරින් උන්වහන්සේලා හඳවමි෴"කෑයුතුවූ ද, බුදියයුතුවූ ද, රස විඳ ගත යුතුවූ ද, සමෘධවූ, ආහාරපානයෙන් මනොඥවූ, මිණිමුවා පාත්‍රයන් පුරවා මම උන්වහන්සේලාට දිනිමි෴"ඒ දිව්‍ය වස්ත්‍ර වැනි මටසිලුටු සිවුරු දැරුවාවූ, මී සකුරු තලතෙල් හා මීපැණියෙන්ද යන මෙකී උතුම්ආහාර පානයන්ගෙන් තෘප්තවූ, ඒ සියලු ආර්‍ය සමූහයා ගුහාවන්හි සයනය කරණ කේශර සිංහයන් මෙන් රත්න ගෘහයට පිවිස, "මාහැඟි සයනයෙහි සිහියෙන් යුතුව සීහ සෙය්‍යාවෙන් සැතපුනාහ෴ ඉන් නැගිට සයනයෙහිම පලක් බැඳ, වැඩහිඳ, සියලු බුදුවරයන්ට අරමුණුවූ ධ්‍යානයට සමවන්හ෴
"එසේ බුදුවරයන් අතුරෙන් ඇතමෙන් දහම්දෙසත්෴ කෙනෙක් ධ්‍යානයෙන් උපදවාගත් සෘධීන් දක්වත්෴ අයෙක් පඤ්ච වසීන්ගේ වශයෙන් වසඟ කළ අභිඥාවන්ට සමවදිති෴ අනෙක ශතසහශ්‍ර සංඛ්‍යාත නොයෙක් සෘධි කරත්෴"ඒ පසේ බුදුවරු සර්වඥතාඥානයට ගෝචරවූ ප්‍රශ්න අනික් බුදුවරුන්ගෙන් විචාරත්෴ ඔවුනොවුහු විචාරත්෴ ගැඹුරුවූද කරුණු ප්‍රඥාවෙන් අවබෝධ කෙරෙත්෴
"ශ්‍රාවකයෝ බුදුවරුන්ගෙන් විචාරත්෴ බුදුවරු ශ්‍රාවකයන්ගෙන් විචාරත්෴ ඔවුනොවුහු විචාරත්෴ ඔවුනොවුන්ට පිළිතුරුද දෙත්෴"සම්‍යක් සම්බුදුවරුද, පසේබුදුවරුද, ශ්‍රාවකයෝද, පිරිවර ජනයාද මෙසේ ස්වකීය කැමැත්ත පරිදි එම වෛජයන්ත ප්‍රාසාදයෙහි ඇලී වෙසෙති෴
"රන් දැල් පේලි ඇති, සප්ත රත්නමය ඡත්‍ර එල්බ සිටිත්වා෴ මුතු දැලින් එල්බුනු සියලු ඡුත්‍ර මාගේ මුදුනෙහි (හිසට) දරත්වායි සිතූකෙණෙහි එසේ පහළවිය෴"රුවන් තරුයෙන් විසිතුරු රෙදි වියන්ද, එසේම විසිතුරු මල් වියන්ද යන මේසියල්ල මාගේ මුදුනෙහි දරත්වා෴ "මාලාදාමයන්ගෙන් ගැවසී ගත් සුගන්‍ධ දාමයන්ගෙන් ශෝභිතවූ රෙද්දෙන් කළ මාලාවන්ගෙන් ආකූලවූ රත්න මාලාවන්ගෙන් අලංකෘත, "විසිතුරු මල්වලින් ගැවසීගත් සුවඳ දුම්ගැන්වූ සුවඳ පසඟුල් කළ රන් වියනින් වැසූ, "පියුම්උපුල්වලින් ගැවසීගත් සිව්දිගෙහිවූ පොකුණු පියුම්රොණින් හා රජසින් ස්වර්ණ වර්ණව වැටහෙත්වා෴"මාගේ චෛජයන්ත ප්‍රාසාදය සියළු ගස්වල මල් පිබිදෙත්වා෴ ඒ මල් තෙමේම ගිලිහී පහය මතුයෙහි විසිරෙත්වා෴"එහි මොණරු නටත්වා, දිව්‍ය හංසයෝ ශබ්ද කරත්වා, කුරවි කෙවිල්ලෝද හාත්පස වෙසෙන සෙසු පක්‍ෂි සමූහයාද නාද කෙරෙත්වා෴"පහය හාත්පස සියළු බෙර වැයෙත්වා෴ සියලු වීණා ගැයෙත්වා෴ හැම සංගීතයක්ම පවතිත්වා෴"සියලු බුද්ධ ක්‍ෂෙත්‍රයෙහිද ඉන් පිටත් සක්වලෙහිද මහත්වූ පළුදු නොවූ ප්‍රභාවත් රන්වන් වර්ණයෝ වෙත්වා෴ ප්‍රදීප දැල්වෙත්වා෴ දස සහශ්‍රී ලෝක ධාතූන්ගේ සමූහයම ඒකාලෝක වෙත්වා෴"නිලියෝද, මුවින් ශබ්ද පවත්වන්නෝද, නෘත්‍ය කෙරෙත්වා෴ නොයෙක් වර්ණවත් දිව්‍යප්සරා සමූහයා ප්‍රකටව පෙණෙත්වා෴"ගස් මුදුනෙහිද, පර්වත මුදිනෙහිද, සිනෙරු පර්වත මුදිනෙහිද, පඤ්ච වර්ණයෙන් විසිතුරුවූ සියලු ධජ ඔසවමි෴
"දිව්‍ය මනුෂ්‍යාදී සංඤ්ඤී සත්ත්‍වයෝද, අසඤ්ඤසත්තයෙහිවූ අසංඥි සත්ත්‍වයෝද යම්තාක් වෙත් නම්ඒ සියල්ලෝ මා විසින් කරණ ලද එකී පුණ්‍යඵලය අනුමෝදන් වෙත්වා෴"මා විසින් කරණ ලද පින යම්දිව්‍ය මනුශ්‍ය නාගාදී කෙනෙකුන් විසින් මැනවින් දැනගන්නා ලදද, ඔවුන්ට මා විසින් පිණ දෙන ලදී෴ මා විසින් ඒ කරණ ලද පින දුන් බව යම්කෙනෙක් නොදනිත් නම්දෙවිවරු ගොස් ඔවුන්ට එය දැන්වූහ෴"ආහාර හේතුවෙන් ජීවත්වන සියලුම ලෝකවාසී සත්ත්‍වයෝ මනහර බොජුන් මාගේ පුණ්‍යර්ධියෙන් ලබත්වා෴"පිරිසිඳු සිතින් යම්දානයක් මා විසින් දෙන ලද නම්, එහි අනන්ත චේතනාවන්ගෙන් සතුට ඉපදවීමි෴ සියළු සම්බුදුවරයෝද, පසේබුදුවරයෝද, බුදු සව්වෝද මා විසින් පුදන ලදහ෴"මැනවින් කළ ඒ පිනින්ද, ප්‍රාර්ථනාවන්ගෙන්ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි෴"දෙව්මිනිස් දෙගතිය දනිමි෴ ඉන් පිටත් අනික් ගතියක් ගැන නොදනිමි෴ එය සිතින් කළ පැතුමෙහි ඵලයයි෴
ඊලඟ ලිපිය මනෝ නිර්මාණ කරණය ප්‍රාථමික අවස්ථාව
මේතාක් ලිපි පෙළ
- ධ්‍යාන මාර්ගය (හැදින්වීමේ ලිපිය)
- ගියර් පද්ධතිය හා ධ්‍යාන (ධ්‍යාන පිළිබඳ මූලික පරිචය)
- සිත එකඟ කිරීමේ අති ප්‍රාථමික අවස්ථාව (සංගීත මාධ්‍යය)
- නවගුණ වැල භාවිතය හා ථේරවාද සජ්ජායනා ක්‍රමය
- හින්දු හා ත්‍රාන්ත්‍රික පරිකමිම භාවනා
- රූප මාධ්‍ය භාවනා ක්‍රම හා සෙන් භාවනා
- කසින භාවනා