Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

රූප මාධ්‍ය භාවනා ක්‍රම හා සෙන් භාවනා .

$
0
0
පුද්ගල රුචිකත්වයන් විවිධ බැවින්, ගායනයන් හා වාදනයන් ඇසීමට වඩා යමි අයෙක්,යමක් නිරීක්ෂණය කිරිමට කැමැත්තෙන් පසු විය හැක. එබදු අයෙකුට, විසිරී ඇති මනස එක්තැන් කිරිමට තම පරිසරයෙන්ම අවස්ථාවන් පාදාගත හැක.

ඒ අනුව ගුලක් වෙත වේගයෙන් දිවයන කූඹි රුලක් නිරික්ෂණය කිරිම ඔවුන්ගේ ක්‍රියාකාරකමි නිරීක්ෂණය කිරිම, වැස්ස වැටනා අවස්ථාවක දී දිය බිඳු බිදෙමින් යන ආකාරය නිරීක්ෂණය කිරිම, සුලඟට ගසක් හෝ ගසක කොලයක් සෙලවෙන ආකාරය නිරික්ෂණය කිරිම, මුහුදු රුළි බිඳී යන ආකාරය නිරික්ෂණය කිරිම. ආදී වශයන් වන කිනම් හෝ රූපමාධ්‍යමය අරමුණක ඔබ සිත එකඟ කිරිමට ඔබට හැකියාව ඇත.

අයෙකුට පාරිසරික සිදුවීමි වල කුමන සමාධියක්දැයි සිතීමට ද හැකියාවක් ඇත. නමුත් එහි ඇති සත්‍ය බවක් නැත. උදාහරණයක් මගින් එය පහදා ගනිමු.

කූඹි ගුලක් වෙත ඇදී යන කූඹීන්.
පොළිමි ගැසී ගුලවෙත ඇදී යන කුඹින් හෝ තමා විසින් සදාගත් කොළගොටු ජනපදය වෙත ඇදී යන දිමියන් පරිසරයේ සුලබ දර්ශනයකි. සාමාණ්‍යයෙන් එහි සැලකිය යුත්තක්, එහි විමසිය යුත්තක් නැතිවිය හැක. නමුත් මදක් ඔබ ලඟා වී වේගයෙන් තම ගුල වෙත දිව යන කඩියන් රුලක් නිරීක්ෂණය කල හොත් ඔබට එහිදී ඔවුන්ගේ ක්‍රියාකාරකමි රාශියක් දැකගැනීමට හැකිවනු ඇත.
 
වේගයෙන් ඒ මේ අත දිවෙන කඩියන්, ආහාර ඔසවාගෙන යන ආකාරය, එකෙකුගේ ආහාරය තවෙකෙකු උදුරාගන්නා ආකාරය, ඔවුනොවුන් සන්වේදනය කරනා ආකාරය, තවත් විමසා බැලීමේදී එහි සිටින ලොකු කඩින්, කුඩා කඩින්, ඔවුන් ගමන් ගන්නා මාර්ගයේ මාර්ග සටහන ආදී වශයෙන් ඔබට දැකිය හැකි දෑ බොහෝය. පළමුව "ඒ මේ අත දුවයන කඩි රුළකි" යන සිතුවිල්ල, නීර්ක්ෂණය කොට විශ්ලේශණය කර බැලීමේදී ඔබට පෙනී යන්නේ මුලින් නොපෙනුන බොහෝ ක්‍රියාකාරකමි ඒහි ක්‍රියාත්මක වන බවයි. බාහිර ලෝකයේ විවිධ අරමුණු කරාම දිවෙන මනස ‍කඩි ගුල නිරීක්ෂණය කරනා අවස්ථාවේ "කඩියන් බැලිය යුතුය" යන චේතනාව තුලින් විසිරීයාමට නොදී එහිම නිමග්නකර ඇති ආකාරය ඔබට අත්දැකිය හැක.

කඩි ගුල හා භාවනාව.
භාවනාව හා කඩිගුල අතර ඇති සමිබන්ධතාවය කුමක් විය හැකි දැයි ඔබට සිතාගත හැකිද? යමිසේ කඩිගුලේ කඩියන් ඒමේ අත දිවයන ආකාරය නිරීක්ෂකයෙකු නිසි අවධානයෙන් තොරව නිරීක්ෂණය කරනා විට එහි සිදුවන්නේ කුමක්දැයි යන්න පැහැදිලි නොවන්නා සේ. පඤ්චස්කන්ධ සංඛ්‍යාත මිනිසා නමි වන සමිමුතිධර්මයේ ඇති "සිතනමි ධර්මයේ" උපදිමින් බිදී යන්නාවූ අසංඛ්‍යසංඛයාත සිතුවිලි කෙසේ උපදින්නේද? කුමක් පිණිස උපදින්නේද? එහි නිමාව කුමක්ද? එහි නිස්සරණය කුමක්ද? යනාදී වශයෙන් නීරික්ෂණය නෝකරනා තෙක් එහි යථා ස්වරූපය යමෙකුට පැහැදිලි නොවේ.  

යමි සේ කඩි ගුලේ කඩින්ගේ ක්‍රියාකාරකමි එය නිරීක්ෂණය කරන්නෙකුට වඩ වඩාත් ප්‍රකටවී පෙනෙන්නා සේ,භාවනා වශයෙන් යමෙක් භාවනා අරමුණක් තුල සිතේ හැසීරිම නිරීක්ෂණය කරමින් යෑමේදී, සිතේ ක්‍රියාකාරකමි වඩ වඩාත් ප්‍රකටව පෙනෙන්නට වන්නේය. එබැවින් භාවනාවත් කඩිගුල නීක්ෂණය කිරීමත් දෙකක් නොව භාවනා කර්මයේම උස් පහත් ප්‍රභේධයන් බව ඔබට වැටහිය යුතුය.

ඒ අනුව පරිසරයේ පවතින කිනමි රූපස්කන්ධයක් වෙත වුවද මනස එක්තැන් කිරිම සමථ භාවනා කර්මයම වන්නේය. භාහිර රූපමාධ්‍යක සිත එක්තැන් කිරිම යනු අන් කිසිවක් නොව සිතුවිලි එක්තැන් කිරීම ම වන බැවින් එයම සමථ භාවනා කර්මයක් වේ.

ප්‍රඥාවන්තයෙකුට මුලු ලොවත්, සකල සංස්කාර ධර්මයන්මත් සමථ විදර්ශණා භාවනා කර්මස්ථානම වන්නේය. එබැවින් බුද්ධිගෝචරව විමසා බලත්වා.

වර්ථමානයේ මානසික පීඩනයෙන් මිදීම පිණිස, මුහුදු වෙරළට යන ලෙස, පක්ෂින්, සමනලුන් ආදීන් නිරීක්ෂණය කරනා ලෙස විවිධ අවස්ථාවල දී උපදෙස් දෙනු දක්නට ලැබේ. මෙහි මානසික ආතතියෙන් මිදීම යනු ආතතිකාරී සිතුවිලි වලින් මිදී වෙනත් අනාතතික සිතුවිලි සමුදායක් තුල සිත සමාධිමත් විමයි. එබැවින් බුද්ධමතෙක් වටහාගත යුත්තේ, මානසික ආතතියෙන් මිදීමට විශාල වියදමක් දරමින් විනෝද සවාරි, යෑමට අවශ්‍ය නොවන බවත්, ඒ සඳහා මාර්ගය තමා අවට පරිසරයෙන්ම සොයාගත හැකියාවක් ඇති බවත්ය. මේ ප්‍රකාශ කිරීමට යෙදුනේ අමතර කරුණකි. මෙබදු දෑ පවා මෙහි සඳහන් කරන්නට යෙදුනේ සමථ භාවනාවේ සිත නිමග්න කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන යෝගාවචරයා සෑම මොහොතකම සමාහිත මනසකින්ම සිටිය යුතු බැවින්හා භාහිර පරිසරයේ විවිධ සිදුවීමි පවා සිතේ සතිය, සමාධිය දියුණු කිරීමට භාවිතා කල හැකි බැවිනි. මෙය රූප මාධය තුල සිත එකඟ කිරීමේ අති සරලතම අවස්ථාවයි.

සෙන් රූප මාධ්‍ය භාවනා ක්‍රම
මෙබදු භාවනා ක්‍රමයක් සෙන් බුදු දහමේ ද දක්වා ඇත.
පිරිසිදු තිරුවානාගල් කැටයක් සොයාගෙන ඒ මත මලක් තබා වැලිමළුවක එය තැමිපත් කොට ඒ මල මත හෝ තිරුවානා කැටය මත හෝ වැලිපිල මත සිත සමාධිගත කල හැක. එනමි ඒ මල, "මලක් මලක් මලක්" වශයෙන් මෙනෙහි කරමින් භාවනා කල හැක.

මෙකී භාවනා කාලය තුල අන් කිසිවක් මෙනෙහි නොකොට මෙකී අරමුණ මතම සිත රඳවා තැබිය යුතුය. මේ සඳහා හිස් අවකාශයක්, රෙදි කැබැල්ලක්, චිත්‍රයක්, තිතක් වුවද භාවිතා කල හැක.

යමෙකුට මෙය විකාර භාවනාවක් යැයි සිතීමට ඉඩ ඇත. නමුත් මෙම භාවනා කර්මස්ථානය ප්‍රඥාවන්තයෙකුට නිර්වාණය තෙක්ම දියුණු කල හැකි බව අවධාරණය කර සිටිමි. එබැවින් මෙම ලිපි වල සඳහන් කර ඇති කිසිවක් බැහැර කල යුතු හෝ බැහරකල හැකි දෑ නොවන බවත් ප්‍රායෝගිකව අත්දැකිය හැකි තත්වයන් බවත් මෙහිලා අවධාරණය කර සිටිමි. උත්සහ කර බලන්න. පහසු කටයුත්තක් නොවන බව ඔබටම වටහාගත හැක.

රූපමාධ්‍ය බුදුගුණ භාවනාව.
භාග්‍යවතුන්වහන්සේගේ දෙතිස්මහා පුරිෂ ලක්ෂණයන් අතරින් වැඩි තරමක් ප්‍රකටව පෙනෙන බුද්ධ ප්‍රථිමාවක් හෝ ප්‍රියජනක බුදු රූපයක් ගෙන, අපහසුවකින් තොරව බලාසිටිය හැකි දුරකින් එය තැමිපත්කරගත යුතුය. අනතුරුව එම රූපයේ අංගයෙන් අංගය වෙත සිත යොමු කල යුතුය. එනමි පළමුව බුද්ධ රූපයේ ශ්‍රී කේෂා බලන්නේ යැයි සිතා ශ්‍රී කේෂාවන් වෙත අවධානය යොමු කල යුතුය. අනතුරුව ශ්‍රී නලල් තලය, ඌර්ණරෝමය, බැම යුගල, ශ්‍රී නේත්‍රාවන් ආදී වශයෙන් බුද්ධ රූපයේ ඒ ඒ කොටස් වෙත අවධානය යොමු කල යුතුය. මේ ආකාරයට යොදාගන්නා කාලයක් තුල බුදු රුව ඉහල සිට පහලටත් පහල සිට ඉහලටත් මෙනෙහි කල යුතුය. මෙම රූපමාධ්‍ය භාවනාවන් ප්‍රකටවන යමි අවස්ථාවක දී ඇස් හැර බලා සිටින රූපය දෑස පියාගත් විටද සිතට ඇස් විවර කර බලා සිටින ආකාරයෙන්ම වර්ණවත්ව හා සුපැහැදිලි ලෙස දර්ශණය වීම සිදුවිය හැක. එබදු අත්දැකීමක් භාවනාව සඳහා ආධුනිකයෙකුට මහත් චිත්තප්‍රීතිය ඇතිකරවන අත්දැකීමක් වනු නොඅනුමානය
 
මේතාක් ප්‍රකාශ කිරීමට යෙදුනේ කිසිදු දිනයක භාවනාවක් කර නැත්තාවූ හා භාවනා කිරීමට අපෙක්ෂාවෙන් පසුවන්නාවූ , භාවනා අත්දැකීමි හා භාවනාවන් පිළිබඳව දැන්ගන්මට කැමති, කිසිදු සමාධි මටිටමක් නොමැති පිරිස් වෙත සමථ භාවනාවන් ආරමිභ කිරීම සඳහා මනසට මූලික හුරුවක් ලබාදීමේ ක්‍රම කිහිපයකි. මෙම ක්‍රියාකාරකමි සරල සිද්ධාන්තයන් බව යමෙකුට බැලූ බැල්මට පෙනී යා හකි වුවත්, ඒකී ක්‍රියාකාරකමි තුලින් ඔබගේ ජීවිතයට එක්වන යහ ප්‍රථිපලය සුලුකොට තැකිය නොහැක. එබැවින් කිසිදිනක භාවනා කර නොමැති ඔබට මෙතෙක් පලකල මෙම ලිපි පෙළේ, ලිපි 05ක අන්තර්ගත කරුනු භාවනාව සඳහා රුචියක් ඇතිවීමටත්, භාවනාව සඳහා මනස සමාහිත කිරීමටත්, භාවනාව සඳහා හුරුවක් ඇතිකිරිමටත්, මානසික ආතතියෙන් මිදීමටත්, පාරමිතා ප්‍රකරණයටත් බෝධි චිත්තය වර්ධණය වීමටත් හේතුවක් වන්නේය. එබැවින් වැඩ කැමැත්තෝ මෙකී භාවනාවන් භාවිතා කෙරෙත්වා.







මෙතෙක් ලිපි පෙළගැස්ම
ඊලඟ ලිපිය ‍කසින භාවනා.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles