Quantcast
Viewing all articles
Browse latest Browse all 168

නිවන කියන්නේ කුමක්ද?

අද ඉල් පොහෝ දිනයයි. වසර 04 ක කාලයක් මුළුල්ලේ බොහෝ කැප කිරීම් ආදිය කරමින් හා විවිධ බාධා මධ්‍යයේ ලියනා ලද ලිපි ලිපි පෙළක අවසන් ලිපිය මෙයැයි  කියා එක් පසකින් සතුටු විය හැකිය. එනම් මෙහි විදර්ශනා ලිපි පෙලේ මූලික ලිපි එකතුව මෙම ලිපියෙන් අවසන් වන හෙයිනි. මෙම ලිපි පෙළ නිවන තෙක් ගමන් මාර්ගය පියවරින් පියවරයන සබැඳිය තුලින් ඔබට ඉදිරියේදී කියවීමට හැකි වනු ඇත. එම ලිපි පෙළ කියවන්නාවූ විර්‍ය ඇත්තාවූ අයෙකුට නිර්වාණය බොහෝ දුර නොවෙතැයි යන්න මාගේ අදහස වන්නේය. මක්නිසාද යත් ඒ අනුව පිළිපැද සුදුසු ස්ථානයන් කරා යොමු වී භාවනා කල බොහෝ පිරිසක් විශිෂ්ඨ අත්දැකීමි සමූහයක් මේ වන විට ලබා ඇති බැවිනි. එබැවින් පැවිද්දන් පවා වල්මත්වී සිටිනා මෙවන් යුගයක උපාසකයෙකු වශයෙන් සිව් වසරක් තුල මෙම ධර්ම දානමය පුන්‍ය කර්මය කිරීමට හැකිවීම සමිබන්ධයෙන් මම අද දින වඩ වඩාත් සතුටට පත්වෙම්.

බෞද්ධයාගේ පරම පැතුම වන්නේ නිර්වාණයයි. සෑම කුසලකර්මයක්ම අවසානයේදී, බෞද්ධයාගේ ප්‍රාර්ථනය වන්නේ කුමන ආකාරයකින් හෝ; එනම් දෙවි මිනිස් සැප කෙලවර නිවන, වහ වහා නිර්වාණයට පැමිණිම් වශයෙන් නිවන හෝ තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පැමිණ නිවනට පැමිණිමයි. නමුත් ඔබ මේ පතන්නාවූ නිවන කුමක් දැයි ඔබ දන්නවාද?

හිගියන් තබා ‍පැවිද්දන්ගෙන් බොහෝ දෙනෙකු ද මෙසේ පතන්නාවූ නිවන කුමක්දැයි නොදන්නා බව නොරහසකි. එබැවින් නොදන්නා දෙයක් පත පතා විවිධ ක්‍රියා සමූහයක් කිරීමට වඩා, ඒ පිළිබදව වඩා හොද දැනුමක් ඇතිව, කරන්නාවූ දෙයක් කිරීම වඩා ඵලදායක වනු ඇත. එනම් නොදැන ගමනක් යනවාට වඩා යා යුතු තැන දැන, මඟ සලකුණු දැන, ගමන් කිරීම තුලින් කැමති තැනට වඩා පහසුවෙන් හා ඉක්මනින් අතරමං නොවී පැමිණිමට හැකියාවක් ඇත. මෙම ලිපිය සමිපාදනයේ දී සූත්‍ර උපුටා නොදක්වන අතර යමෙකුට නිවන ගැන ත්‍රිපිටකයේ සදහන් සූත්‍රයන් පිළිබදව අධ්‍යනය කිරීමට අවහ්‍ය වන්නේ නමි, ඒ සම්බන්ධව රේරුකානේ චන්දිවිමල හිමියන්ගේ නිර්වාණ විනිස්චය හා පුනරුප්පත්ති ක්‍රමය නම් ග්‍රන්තයේ සමිපිණ්ඩනයක් ඇත. මේ පවසන ලද්දේ එම සූත්‍ර සියල්ල එක ස්ථානයකින් සොයා ගැනීමට හොඩුවාවකි. මෙම ලිපියේ දී වඩාත් වටහා ගැණිමට පහසු අයුරෙන් නිර්වාණය විස්තර කර දීමට උත්සුක වෙමි.

තුන්නරා බෝධියෙන් එක්තරා බෝධියකට පත්ව නිවන් යෑම.
බෝධි නම් උත්තම තත්වය තුන ආකාරයකින් බුදු දහමේ බෙදා දක්වා ඇත. බුද්ධ බෝධිය, පච්ඡේක බෝධිය නැතහොත් පසේ බුදු බව, ශ්‍රාවක බෝධිය යන මේ ත්‍රිත්වය තුන් ආකාර වූ, තුන් තරාතිරම් ඇති බෝධියයි. මෙයින් සම්මා සම්බෝධිය අග්‍රතම බෝධිය වන අතර ඒ පිළිබදව අවබෝධයක් ඇතිකර ගැනීමට පහත ලිපි කියවා ගත යුතුය.

පසේ බුදු බව යනු තමා සාස්තෘවරයෙකු රහිතව තමා විසින්ම ධර්මය අවබෝධ කරන නමුත් එම ධර්මය අන්‍යන්ට අවබොධ කිරීමට සමත් නොවන්නාවූ ආශ්චර්‍ය අත්භූත වූ උතුමන් පිරිසකි.

ශ්‍රාවක බෝධිය යනු සම්මා සමිබුදුරජාණන් වහන්සේලාගේ සාමුක්ඛන්සික දේශනය නැතහොත් ජීවමානව වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ ද්ශනා කරන ධර්මය අසා සොවාන් ආදී මාර්ග ඵල ලබා පසුව සද්ධර්ම ශ්‍රවණය, යොනිසෝ මනසිකාරය, කල්‍යාණ මිත්ත සේවනය හා ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ යෙදෙමින් අවසන් පියවර වශයෙන් උතුම්වූ අරහත් ඵලයෙන් නිවී සැනසෙන පිරිසය. නැතහොත් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල උන්වහන්සේගේ ධර්මය අනුව පිළිපැද, සංඝ රත්නයේ අවවාද අනුසාසනා ආදිය පිළිපැද, ශිල, සමාධි, ප්‍රඥා, සති ආදී ධර්මයන් වර්ධණය කොට සෝවාන් ආදී මාර්ග-ඵල ලබා උතුම් වූ අරහත් ඵලයට පැමිනෙන පිරිසයි.

පිටකොටුවේ සිට මරදානට යෑමට කැමැත්තෙන් පසුවන තමාගේම බස් රථයක් ඇති අයෙකුට තමාගේම ගමනක්ම යා හැක. එවන් අයෙකුට මරදානට යෑමට කැමති තවත් පිරිස් වේ නම් ඔවුන්ව එම රථයෙන් මරදානට පැමිණවීමේ හැකියාවද ඇත. එසේ හැකියාවක් නැති අයට බස් රථය හිමි අයෙකුගේ බසයේ නැගී ඔහු ගෙන යන මාර්ගයේ ගමන් කොට මරදානට පැමිණිය හැක. තවත් අයෙකුට පෞද්ගලික රථයක් හෝ ත්‍රීරෝද රථයක් ගෙන තමාගේ ගමන තමා විසින්ම යා හැක. නිවනට පැමිනෙන ආකාර තුන වන්නේද මෙයයි. බුද්ධ බෝධිය, ශ්‍රාවක බොධිය හා පසේ බුද්ධ බෝධිය ඉහත උදාහරනයේ අවස්ථාවන්ට පිළිවලින් ආදේශ කිරීමට හැකියාවක් ඇත.

කුමන ආකාරයකින් පැමිණියත් අවසානයේ සියළු දෙනාම පැමින ඇත්තේ මරදානටම වන්නා සේ, කුමන බෝධියෙන් පැමිණියත් අවසානයේ ඔවුන් පැමිණ ඇත්තේ සතර මාර්ගය, සතර ඵලය කෙලවර උත්තම වූ නිර්වාණයට වීම විශේෂ ලක්ෂණයයි.  

සතර මාර්ගය, සතර ඵලය, නිර්වාණය නම් වන නව ලෝකොත්තර ධර්මය.
සමිමා සමිබුදු රජාණන්වහන්සේලා ලොව පහල වනුයේ මෙම සතර මාර්ගය, සතර ඵලය හා නිර්වාණය නම්වන නව ලොකොත්තර ධර්මය දේශනා කරනු පිණිසය. ත්‍රිපිටකයේ අන්තර් ගත සෑම දේශනාවක්ම මෙන්ම භාග්‍යවතුන් වහන්සේ දිවමන්ව වැඩ සිටි කාලයේ කරනා ලද සෑම දේශනාවකම අන්තර්ගතව ඇත්තේ මෙම නවලොකොත්තර ධර්මයයි. චතුරාර්‍ය සත්‍ය, පටිචිච සමුප්පාදය, ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය, ශිලය, සමාධිය, ප්‍රඥාව, සතිය, ශ්‍රද්ධාව, විර්‍ය යනාදී වශයෙන් වන්නාවූ විවිධ ධර්ම කොටස් සියල්ලම දේශනා කර ඇත්තේ මෙම සතර මාර්ගය, සතර ඵලය හා නිර්වාණයට පැමිණිම පිණිසය. එබැවින් සමස්ථ ත්‍රිපිටක දේශනාවම නවලොකොත්තර ධර්මය පිළිබඳව කරන ලද දේශනාවකි. සම්පිණ්ඩනයක් ලෙස භග්‍යවතුන් වහන්සේලා ලොව පහල වන්නේ මේ නවයක් වූ ලෝකෝත්තර ධර්මය ප්‍රකාශ කිරීමට බව කිව හැක.

සතර මාර්ගය හා සතර ඵලය
ලොව මිනිසුන්ගේ හිඟයක් නැත. විවිධ මිනිසුන්ගේ ජීවිත අභිලාශ, ජීවිත පරමාර්ථ විවිධාකාරය. මෙසේ විවිධාකාර මිනිසුන්, දෙවියන්, භ්‍රහ්මයන් ආදී සත්ත්වයන් ඇති ලෝකයේ, මිනිසුන් අතරින් සමහර දෙනෙක් පමණක් මේ ‍ලෝකය අනිත්‍ය වශයෙන් දකිති, මේ ලෝකය දුක් වශයෙන් දකිති. මේ ලෝකය අනාත්ම වශයෙන් දකිති. මේ ආකාරයට ලෝකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකින්නාවූ සත්ත්වයින්ට මේ ලෝකයෙන් මදී යෑමේ අවශ්‍යතාවයක් ඇතිවෙයි. මරණ චක්‍රරයක් වූ මේ ජීවිත චක්‍රය නැවැත්වීමේ අවශ්‍යතාවයක් ඇතිවෙයි. අතොරක් නැතිව සිදුවන්නාවූ ඉපදීම, මරණයට පත්වීම, ලෙඩ දුක් වලට පත්වීම, ජරාවට පත් වීමට තිත තබා මේ දුක් සාගරයෙන් මිදී යම් ක්ෂේම භූමියක් ස්පර්ශ කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවෙයි. එවැනි අවශ්‍යතාවයක් ඇත්තන්ට භාග්‍යවතුන්වහන්සේ සතර මාර්ගය, සතර ඵලය පෙන්වා දේශනා කරති. එහි කෙලවර අමාමහ නිර්වාණය නම් සකල සංස්කාරයන්ගේ නිරුද්ධවීයාම දේශනා කරති. මෙහි මාර්ග සතර හා ඵල සතර වන්නේ සොවාන් මාර්ගය- ඵලය, සකෘදාගාමී මාර්ගය-ඵලය, අනාගාමී මාර්ගය, ඵලය හා අරහත් මාර්ගය හා ඵලයයි. බුදු පසේ බුදු අරහත් යන සියල්ලෝ පිළිවලින් මෙම තත්වයන්ට පැමිණෙයි අරහත් ඵලය අසේක තත්වය වන අතර ඉන් එහාට මෙකී පඤ්චස්කන්ධය සම්බන්ධයෙන් කල යුතු කිසිවක් නැතිවනු ඇත.  එනම් සොවාන් මාර්ගයට පත්වූවෙකුට, සොවාන් ඵලය ඉපදවිය හැකිය එනම් ඔහුට කල යතු හෝ කිරිමට යමක් ඉතිරිව ඇත. සොවාන් ඵලයට පත්වුවෙක්ට සකදාගාමී මාර්ගය ඵලය පිළිවලින් ඉපදවිය හැක, සකදාගාමී ඵලයට පත්වූ වෙකුට අනාගාමි මාර්ග ඵල උපදවිය හැකි අතර අනාගාමී ඵලයට පත්වූවකුට අරහත් මාර්ගයත් අරහත් මාර්ගයට පත්වූ අයෙකු අරහත් ඵලය උපදවීමත් සමඟ බුද්ධ සාසනය තුල බඹසර වැස අවසන් වේ.  ඉන් එහාට කල යුතු කිසිවක් ඔහු සතු වන්නේ නැත. එවන් ඔහුත් පෙර භවයේ  අවිද්‍යා, තෘශ්ණා, කර්මයෙන් උපදවන ලද ‍ශරිරයත් එහි නාමස්කන්ධයත්, පහනක තෙලුත් තිරත් - දැවී අළුවන තුරු ආලෝකය පවතින්නාසේ පැවත නැවත පහන දල්වන්නෙකු හෝ තෙල් දමන්නෙකු හෝ තිර දමන්නේකු තැති හෙයින් පරිණිර්වාන මංචකයේදී  එතැනින්ම නිමාවට පත්වී යයි. අමාමහ නිවන වන්නේ එයයි.

අවසානයේ දැල්වී අවසාන වූ කල  පහන ශේෂව පවතින්නාසේ දවාලන සිරුරේ නශ්ඨාවශේෂ ධාතු වශයෙන් කලක් පැවතිය හැකි අතර ඒවාද දිරාපත්වී කලකදී නැතිත්ටම තැනිවී යයි. මේ කරුන වඩාත් පැහැදිලි කර ගත යුතුය.

සොපාදිශේෂ නිර්වාණය හා අනුපාදිශේෂ නිර්වාණය.
මෙහිදී සොපාදීශේෂ නිර්වාණයට සොවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන ඵලයන්ට පැමිණි, ජීවත්ව සිටිනා ආර්‍යන්ට පත්විය හැක. සොවාන් වූ ආර්‍යයා ඔහුගේ ඵල සිතට සමවැදීම තුලින් මේ ජීවිතයේදීම නිර්වාණය සුඛය ඔහුට අත්දැකීමට හැකිවනු ඇත. මෙසේ සකෘදාගාමී, අනාගාමී අරහත් යන ඵලස්ථයන්ට ද මෙම තත්වය අත්දැකිය හැක. මෙම අත්දකින්නාවූ නිවනේ ප්‍රමාණය විශුද්ධ් මාර්ගයේ උදාහරණ මඟින් දක්වා ඇත. 

සොවාන් ඵලස්තයා අත්දකිනා නිවන යම් මුතුමැණික් ඇති වටිනා නිධානයක් යමෙක් විදුලි එලියෙන් දකින්නේ යම් සේද, ඒ ආකාරයෙන් ද, සකෘදාගාමී වූ අයෙක් පහනකින් දකින්නා සේද, අනාගාමී වු අයෙක් සඳ එලියෙන් දකිනා සේද, අරහත් ඵලයට පත්වූ අයෙක් ස්කන්ධයන්ගේ නිවී යෑම මහා දවාලේ හිරු එලියෙන් නිධානය දකිනා ආකාරයටද ලෙස සිව් ආකාරයකින් අත්දකිනා බව එහි විස්තර කර ඇත.  ඒ උපමාව වඩා උචිත යැයි සිතුන බැවින් මෙහි සටහන් කලෙමි.

මේ අකාරයට සොපාදිශේෂ නිර්වාණය මෙලොවදීම නිවන් සුව අත්විදිය හැකි අවස්ථාවකි. එනම් ලොව ඇති පරම සුඛය අත්දැකිය හැකි අවස්ථාවකි. තවත් පහදන්නේ නම් ස්ත්‍රි පරුෂ කාම සැප, ආහාර සැප, සුවපහසු තත්වයන්, ධ්‍යාන සැප ආදී වශයෙන් සත්ත්වයින් සැප යැයි සම්මත යම්තාක් සුඛ සහගත තත්වයන් වේද ඒ සියල්ල අභිබවනා අති අග්‍රම සැපය මෙම නිර්වාණ සැපය වන්නේය. ඉන් එහා තවත් සැපයක් නැති අතර ඵල අවස්ථා 04 දී මෙම සැපය තිවෘරතාවය වෙනස්ව අත්දැකිය හැක. මේ සොපාදි ශේෂ නිර්වාණයද නොපෙරලෙන ධර්මයකි. එනම් ලොව ඇති සැප දුක් වේදනා, ධ්‍යාන  ආදී යම්තාක් දේ වේද ඒ සියල්ල තුල, ක්ෂය වී යන පිරිහී යන ස්වභාවයක් ඇත. නමුත් මෙම ඵලය පිරිහී ක්ෂය වී නැතිවී යන්නේ නැත. එය මාර්ගය අවසන් වන තුරු ඉහලට ඉහලට යනු මිස පහල බලා යෑමක් නොවේ. වෙනත් වචන වලින් කිවහොත් ධ්‍යානයක් පඤ්ච වශිතාවයෙන් වශි කල අයෙකු එය සතියක් දෙකක් නොවඩා සිටියදී එයින් පිරිහී, පෙර පරිදි එයට සිත පත්කල නොහැකි තත්වයට පත්විය හැකි නමුත්, ඵලයකට සිත පත් කල අයෙකු වසර 100 ක් ගොස් එම ඵලයට සම වැදුනද එහි පිරිහීමක් නැත. එයට සිත විගසින් පත්කල හැක.

අනුපාදිශේෂ නිර්වාණය.
අනුපාදි ශේෂ නිර්වාණයට පත්විය හැක්කේ අරහත් ඵල ලාභී වූ උතුමෙකුට පුර්ව භවයේ කර්මයෙන් උපදවන ලද්දාවූ නාම රූප පරම්පරාව සිඳී යන අවස්ථාව නැතහොත් මේ කයත් නාමයත් බිදී යන අවස්ථාවට පත්වන ක්ෂණයේ දීය. උතුම් අරහත් ඵලයට පත්වූ භාග්‍යවතුන්වහන්සේගේ පරිනිර්වාණය වූයේ වසර අසූගනනක් උන්වහන්සේට වූ තැනදීය. ඒතාක් කාලය තුල උන්වහන්සේට ලෙඩ රෝග නිසා ඇතිවන දුක්, වියපත්වීම නිසා ඇතිවන දුක්, මළ මුත්‍ර, පහකිරීමේ දුක්, පිපාසා, කුසගිනි දුක් ආදී වශයෙන් ශරිරයක් දැරිම නිසා සිදුවන දුක් වේදනා ඉවසීමට සිදුවිය. එබැවින් එම දුකේ ද නිමාව අත්වන්නේ උන්වහන්සේ පරිණිර්වාණයට පත්වූ මොහොතේ දීය. අන්  පුද්ගලයන් මරණයට පත්වූ කල නැවත අභිනව භවයක උපත ලැබීම සිදුවන බැවින් ඔවුන්ගේ පටිච්ච සමුප්පාද චක්‍රය නොසිදී නැවත දුක් චක්‍රරය භ්‍රමණය වන බැවින් දුක් විදිමට සිදුවෙයි. නමුත් අරහත් ඵල ලාභායකු අනුපාදිශේෂ පරිණිර්වාණයට පත්වීමත් සමඟ එකි චක්‍රරය නැවත කැරකීමක් නොවන අතර එතැනින් සියල්ල අවසන්වී යෑම සිදුවෙයි. සමස්ථ දුක්ඛයේ නිමාව වන්නේ එයයි. එබැවින් ලොව තුල සැබෑ මරණයක් දැකිය හැක්කේ අරහත් ඵල ලාභියකුගේ පමණි. අන් සියල්ලෝ චක්‍රරයකට හසුවී ගමන් ගනියි. පටිච්ච සමුප්පාදයේ අනුලොම පටිච්ච සමුප්පාදයෙන් මේ දුක්ඛ චක්‍රරය භ්‍රමණය වන ආකාරයත්, ප්‍රථිලොම පටිච්ඡ සමුප්පාදයෙන් අනුපාදිශේෂ නිර්වාණයත් විස්තර කරනු ලබයි.

ඒ අනුව සතර මාර්ගය, සතර ඵලය හා අමාමහ නිවන ගැන ඔබට දැන් දල වශයෙන් හෝ වැටහීමක් ඇත. වර්ථමානයේ බොහෝ දෙනා මාර්ග-ඵල ලබා ඇති බව ප්‍රකාශ කරනා බැවින් ධර්මය විනාශ නොවනු පිණිස සැබවින්ම මාර්ග-ඵල ලබා ඇත්තේද නැත්ත යන්න සොයා දැනගත හැකි පරීක්ෂාවන් පමණක් ඊලග ලිපියේ දක්වා ඇත.



මේ අප්‍රමාණ වූ කුසල සමිභාරය පන් දහසක් කාලයට සමිබුද්ධ සාසනය රක්ෂා කරනා අළුත් නුවර දැඩිමුණ්ඩ දෙවි රජ්ජුරුවන් වහන්සේ අනුමෝදනා කරමි අනුමොදනා වේවා!!!

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles